කාශ්‍යප කළේ කුමක් ද?
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
පස්‌වැනි සියවස හා සියවස තව තවත් අධ්‍යයනය කරත් ම ඒ අප රටේ සිංහල ජාතිය සම්බන්ධයෙන් වැදගත් ම කාල පරිච්ඡේදය නො වේ නම් වැදගත් ම කාල පරිච්ඡේදයක් බව පෙනී යයි. පඬු අබා රජු දවස සිංහල ජාතිය ගොඩනැඟêම ආරම්භ විය. දේවානම්පියතිස්‌ස රජු දවස මෙරටට නිල වශයෙන් බුදු දහම හා අශෝක සංස්‌කෘතිය ලැබිණි. එහෙත් මෙරට අශෝක සංස්‌කෘතිය නො වන වෙන ම සිංහල බෞද්ධ සංස්‌කෘතියක් ඇති විණි. ඉන්පසු ගැමුණු රජු දවස මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැඟිණි. එසේ වුවත් යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් වැඩි පිරිසක් (ඉතා වැඩි පිරිසක් විය හැකි ය) සිංහල ජාතියට එකතු වී නැත. ගැමුණු රජු මාගම සිට අනුරාධපුරයට පැමිණීමේ දී බිඳ දමන ලද බලකොටු තිස් දෙක දෙමළ බලකොටු නො ව යක්‍ෂ බලකොටු යෑයි සිතමු.
ගැමුණු රජු ගෙන් පසුව මහසෙන් රජු දවස යක්‍ෂ ගෝත්‍රිකයන් යම් තරමකට බලවත් වී ඇති බව පෙනෙයි. මේ කාලයෙහි යක්‍ෂ රාජධානි මෙරට තිබිණි ද යන්න දැනගැනීමට මහාවංශයෙන් උපකාරයක් නො ලැබෙයි. ඒ සඳහා දැනට පුරාවිද්‍යාත්මක සාධක ඇතැයි සිතිය නොහැකි ය. එයට ප්‍රධාන හේතුව සාධක යන්න අර්ථ නිරූපණය වන්නේ පවත්නා මතවාද අනුව වීම ය. සාධක යනුවෙන් වාස්‌තවික දත්ත නැත. සැම සාධකයක් ම යම් මතවාදයක් පසුබිම් කරගනියි. අද සිහිගිරිය හෙවත් සීගිරිය යක්‍ෂ සංස්‌කෘතියට අයත් ලෙස අර්ථ නිරූපණය නො වෙයි. අද පවත්නා අධිපතිවාදී මතවාදය අනුව එකල මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන්ට බලයක් තිබී නැත. එබැවින් සිහිගිරිය යක්‍ෂ සංස්‌කෘතියට අයත් යෑයි සාමාන්‍යයෙන් නො සැලකෙයි.
අද යාපනයේ ජීවත් වන දෙමළ ජනයා සියවස් ගණනක් තිස්‌සේ මෙරට ජීවත් වන බව සිංහලයන් අතර ද ඇති අධිපති මතවාදය වෙයි. එයට එක් හේතුවක් වී ඇත්තේ දෙමළ ජනකායක් ඈත අතීතයේ සිට මෙරට ජිවත් ව ඇති බවට අපේ වංශකතාවලින් ද ව්‍යංගයෙන් කියනු ලැබීම ය. ගැමුණු රජු දවස සිටි දෙමළ ජනයා ගැන අපට ඉගැන්වෙයි. ඉන්පසුව ද විටින් විට දෙමළ ආක්‍රමණ වූ බව පැවසෙයි. මේ කතාවලින් අඛණ්‌ඩ දෙමළ ඉතිහාසයක් ගැන සෘජුව නො කියවෙතත් සිංහලයෝ ද දිගින් දිගට ම දෙමළ ඉතිහාසයක් තිබිණි යෑයි සිතති.
එහෙත් ඓතිහාසික කරුණු මත පදනම් වී යාපනය විශ්වවිද්‍යාලයයේ ඉතිහාසය පිළිබඳ පළමු මහාචාර්යවරයා වූ කේ. ඉන්ද්‍රපාල මහතා අධිපති මතවාදයෙන් බැහැර වී මෙරට දොළොස් වැනි සියවසට පෙර ස්‌ථිර දෙමළ වාසස්‌ථාන නො තිබිණි යෑයි කී විට දෙබරයට ගල් ගැසිණි. ඒ මහතා ඊනියා ඓතිහාසික සාධක සලකා බැලීමේ දී අධිපති මතවාදය සංගත නො වන බව තේරුම් ගන්නට ඇත. (පසුව ඒ මහතා දෙමළ ජාතිවාදයේ බලපෑම මත තම මතය වෙනස් කර ගත්තේ ය). එසේ වුවත් ඉන්ද්‍රපාල මහතා ගේ මතය ඉතිහාසඥයන් අතළොස්‌සකට පමණක් සීමා විය. අධිපති මතවාදය වූයේ අඩු තරමින් එළාර යුගයේ සිට දෙමළ ජනයා මෙරට පදිංචි වී සිටි බව ය. අද ද සිංහලයන් ඉතා වැඩි පිරිසක් අතර ඇති මතවාදය ද එය වෙයි.
අපි ඉන්ද්‍රපාලන් මතය තව තවත් පෝෂණය කෙළෙමු. අද යාපනයේ දෙමළ ජනයා ගේ ඉතිහාසය අවුරුදු තුන් සිය පනහකට ඈතට නො යන බව කියමු. අප එසේ කියන්නේ පවතින අධිපති මතවාදය ප්‍රතික්‌ෂේප කරමින් යාපනයේ හා තමිල්නාඩුවේ කතා කරන දෙමළ පිළිබඳව ඇති ඇතැම් අදහස් සහ වෙනත් කරුණු ද උපයෝගී කර ගනිsමිනි. එහෙත් අපේ මතවාදය තව ම පළල් වශයෙන් පිළිගැනී නොමැත. පරම්පරා ගණනාවක් තිස්‌සේ මිනිසුන් පිළිගෙන ඇති මතයක් වෙනස් කිරීම පහසු නැත. ඒ සඳහා දේශපාලන බලයක් ද යම් ප්‍රමාණයකට වුව ද අවශ්‍ය වෙයි.
ප්‍රභාකරන් පරාජය කළ හැකි ය හා පරාජය කළ යුතු ය යන මතවාදය ලිපි ලේඛන හා සම්මන්ත්‍රණ ඔස්‌සේ ඉදිරිපත් වුවත් යම්කිසි පිරිසක් ඒ සමඟ එකඟ වුවත් ජනතාව පළල් වශයෙන් ඒ පිළිගත්තේ ප්‍රායෝගිකව ඒ කළ හැකි දේශපාලන නායකත්වයක් ලැබීමෙන් පසුව ය. ප්‍රභාකරන් අනභිභවනීය ය යන මතය සමාජයේ අධිපති මතවාදය ව පැවතියේ එක් පරම්පරාවක කාලයකට අඩු කාලයක ය. එවැනි සුළු කලක් පැවැති මතවාදයක් පවා පරාජය කිරීම පහසු කටයුත්තක් නො වීය. එබැවින් පරම්පරා ගණනාවක් තිස්‌සේ ජනතාව විශ්වාස කළ මතයක් අවුරුදු දහයකින් පහළොවකින් පරාජය වේ යෑයි නො සිතිය යුතු ය.
මෙරට අතීතයේ සිට ඇති දෙමළ සංස්‌කෘතියක් ගැන කීමට බොහෝ දෙනාට හැකි වී ඇත්තේ සිංහලයන් ගේ වංශකතාවලට ම පින් සිදු වන්නට ය. සිංහල වංශකතා සාහිත්‍යයෙන් යක්‍ෂ ගෝත්‍රික ඉතිහාසය ද සංස්‌කෘතිය ද පිටමං කෙරී ඇති අතර දෙමළ හා වෙනත් දකුණු භාරතීය ආක්‍රමණ විස්‌තර කෙරී ඇත. දෙමළ ජනයා ආක්‍රමණවලින් පසුව මෙරට පදිංචි වූ බවට සාධක නැතත් ජනතාව එසේ සිතන්නට පෙලඹී ඇත. ඒ හේතුවෙන් යක්‍ෂ ගෝත්‍රික සංස්‌කෘතික ලක්‍ෂණ දෙමළ සංස්‌කෘතික ලක්‍ෂණ ලෙස ඇතැම් විට අර්ථකථනය කෙරෙයි. විශේෂයෙන් ම මෙරට ඇති අනාර්ය සංස්‌කෘතික වස්‌තු දෙමළ හා සාධාරණ (සාමාන්‍ය, පොදු යන අර්ථයෙන්) වශයෙන් ද්‍රවිඩ සංස්‌කෘතික වස්‌තු ලෙස "හඳුනා ගැනීමේ" ප්‍රවණතාවක් වෙයි. පොම්පරිප්පුව වැනි තැන්වල ඇති පැරැණි සුසානභූමි එලෙස ද්‍රවිඩ ලෙස හැඳින්වෙන භූමි බවට පත් වෙයි.
අපේ ඉතිහාසය මුළුමනින් ම මෙන් සකස් වී ඇත්තේ මහාවංශයේ හා වෙනත් වංශකතාවල ලියෑවී ඇති කතා ජනප්‍රවාදයෙහි කතා හා පුරාවස්‌තු මත ය. බිරිතානීන් හා අනෙක් යුරෝපීයයන් මෙරට පැමිණීමට පෙර ඒ කතා අර්ථකථනය කෙරුණේ සිංහල බෞද්ධ සංස්‌කෘතියක ය. ඒ සංස්‌කෘතියෙහි යක්‍ෂ ගෝත්‍රිකයන්ට ලබා දිය යුතු ව තිබූ තැන ලබා නො දුන් බැවින් හා දෙමළ ජනතාව විශාල වශයෙන් මෙරට පදිංචි වී නො සිටි බැවින් යක්‍ෂ සංස්‌කෘතිය අමතක කර දෙමළ ජනතාව අවුරුදු දහස් ගණනක් තිස්‌සේ මෙරට පදිංචි වී සිටි බවට කෙරුණු අර්ථකථනය සිංහලයන්ට එතරම් ප්‍රශ්නයක් නො විණි.
එහෙත් යුරෝපීයයන් ගෙන්, විශේෂයෙන් ම බිරිතානීන් ගෙන් වංශකතාවලට කෙරුණේ වෙනත් ම අර්ථකථනයකි. ඒ අර්ථකථනයෙහි ව්‍යංගයෙන් කියෑවුණේ සිංහලයන් ගේ පැමිණීම ලෙස හැඳින්වෙන විජය ගේ පැමිණීම සිදු වන කාලයෙහි මෙරට විසූ අනාර්යයන් දෙමළ බව ය. යක්‍ෂ ගෝත්‍රිකයන් යනු දෙමළ නො වන අනාර්ය ජනවර්ගයක් බව බිරිතානියෝ ද පසු කලෙක දෙමළ ජාතිවාදී ඉතිහාස ලියූ සිංහල බෞද්ධ විරෝධී ඉතිහාසඥයෝ ද අමතක කළ හ. භාරතයේ (අද පකිස්‌තානයේ ඇති) මොහන්ජදාරෝ හරප්පා සංස්‌කෘතීන් ද්‍රවිඩ බව පෙන්වීමට තැත් කළ බිරිතානියෝ ආර්යයන් දඹදිවට පැමිණ ද්‍රවිඩයන් දකුණට තල්ලු කළ බව පැවසීමට උත්සාහ කළ හ.
බිරිතානීන්ට අවශ්‍ය වූයේ ද්‍රවිඩයන් දඹදිව මුල් පදිංචිකරුවන් බව පෙන්වීම ය. එයට හේතුව වූයේ ද්‍රවිඩයන් විශේෂයෙන් ම දෙමළ ජනවර්ගය බිරිතානීන් ගේ සුවච කීකරු සේවකයන් වීම ය. බිරිතානීන්ට දෙමළ ජනයා පාලනය කිරීම පහසු විය. බිරිතානීන් ගෙන් ඉන්දියාව නිදහස ලැබීමේ දී පළමුව වෙන ම රාජ්‍යයක් ඉල්ලුවේ දෙමළ ජනයා බව අමතක නො කළ යුතු ය. මුස්‌ලිමුන් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සිටියේ ඉන් පසුව ය. ලංකාවේ ද බිරිතානීන්ට අවශ්‍ය කෙළේ සිංහලයන්ට පෙර දෙමළ ජනයා මෙරට පදිංචි වී සිටි බව ය. එහෙත් පසුව අනාවරණය වූයේ ද්‍රවිඩයන් භාරතයට පැමිණ ඇත්තේ ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේ පමණ බවත් ඒ වන විට අප විසින් අර්ධ වෛදිකයන් ලෙස හැඳින්වෙන්නන් ලංකාවට සංක්‍රමණය වී අවසන් බවත් ය.
අද අප කරන්නේ වංශකතාවල ලියෑවී ඇති කරුණු හා වෙනත් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක එකතු කරමින් වත්මන් සිංහල බෞද්ධ සංස්‌කෘතියට සාපේක්‍ෂව ඉතිහාසයට වෙනත් අර්ථකථනයක් කිරීම ය. ඒ අර්ථකථනය සංගත විය යුතු බව අමතක නො කළ යුතු ය. අප යෝජනා කරන්නේ එක් අතකින් ගත් කල සුසමාදර්ශී වෙනසකි. මෙතෙක් තිබූ සුසමාදර්ශයෙහි යක්‍ෂ ගෝත්‍රිකයන් ප්‍රධාන වන්නේ විජය රජු මෙරටට පැමිණි සමයෙහි දී පමණ ය. ඉන්පසු ඉතිහාස කතාවෙහි යක්‍ෂ ගෝත්‍රිකයන් ගැන කියෑවෙන්නේ අතිරේක කතා ලෙස ය. එහෙත් වැව පදනම් කරගත් යක්‍ෂ සංස්‌කෘතිය විසින් මෙරට ප්‍රධාන සංස්‌කෘතියක් ලෙස ඉතා සාර්ථකව අර්ධ වෛදිකයන් ගේ ගංගා නිම්න සංස්‌කෘතිය පරාජය කෙරී ඇති බව පැහැදිලි ය.
යක්‍ෂ ගෝත්‍රිකයෝ කෘෂිකාර්මික ආර්ථිකයක් සහ සංස්‌කෘතියක් නිර්මාණය කළ හ. ඒ සංස්‌කෘතිය වෙනත් කෘෂිකාර්මික සංස්‌කෘතීන් ගෙන් වෙනස් වන්නේ ඒ වාපී සංස්‌කෘතියක් වීමෙනි. සිංහලයන් ගේ සංස්‌කෘතික අනන්‍යතාවෙන් ඉතා වැඩි කොටසක් වැවත් කෘෂිකර්මාන්තයත් හා සම්බන්ධ ය. ඒ අරුතින් හා තවත් බොහෝ කරුණු අතින් ගත් කල සිංහලයන් ගේ සංස්‌කෘතියෙහි ප්‍රධාන සංරචකය යක්‍ෂ යෑයි කිව හැකි ය. අද අපට ඇත්තේ යක්‍ෂ සංස්‌කෘතියක් මත අශෝක ථෙරවාද බෞද්ධ සංස්‌කෘතිය ආරෝපණය කිරීමෙන් ලබාගත් සංස්‌කෘතියකි. අවශ්‍ය නම් එය යක්‍ෂ සංස්‌කෘතියට අශෝක සංස්‌කෘතියට අවශෝෂණය කිරීමෙන් ලබාගත් සංස්‌කෘතියක් යෑයි කිව හැකි ය. එක් අතකින් ගත් කල වැවයි දාගැබයි යනුවෙන් හැඳින්වෙන්නේ මේ මිශ්‍රණයයි.
අපට ප්‍රධාන ප්‍රශ්නය වන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බලය ආර්ථික, සංස්‌කෘතික හා දේශපාලන ක්‍ෂෙත්‍රවල නැති වූයේ කෙසේ ද හා කෙදිනක ද යන්න ය. ඒ පඬු අබා කල නම් නො වන බව මේ වන විට පැහැදිලි ය. පඬු අබාට සහාය දී ඇත්තේ යක්‍ෂ ගෝත්‍රයට අයත් යම් පිරිසක් පමණ ය. වැඩි පිරිසක් ඔහුට සහාය දී නැත. අර්ධ වෛදිකයන් සමඟ ගැටෙමින් තම අනන්‍යතාව රැකගනිමින් කාශ්‍යප කාලය දක්‌වා යක්‍ෂයන් ක්‍රමයෙන් බලවත් ව වැඩී ඇති බව පෙනෙයි. අද සීගිරිය හෙවත් සිහිගිරිය ගැන බොහෝ දෙනා ප්‍රවාද නිර්මාණය කරති. එහෙත් මේ ප්‍රවාද සියල්ල නිර්මාණය වන්නේ යක්‍ෂ සංස්‌කෘතිය අඩු ම තරමින් පඬු අබා ගෙන් පසු අවසන් විණි ය යන තේරුමෙනි. එහෙත් මේ අතර පඬු අබා යක්‍ෂ යෑයි කියන්නට උත්සාහ ගන්නෝ ද වෙති. ඒ නිරර්ථක උත්සාහයක් වන්නේ ඒ එසේ නම් ඉන්පසු යක්‍ෂ ගෝත්‍රිකයන් අභාවයට ගියේ කෙසේ ද යන්නට ඔවුන් ගෙන් නිසි පිළිතුරක් නො ලැබෙන බැවිනි.
අපේ ප්‍රවාද ඔස්‌සේ අප කරන අර්ථකථනය ඉතා පැහැදිලි ය. කාශ්‍යප ගේ සීගිරිය යක්‍ෂ සංස්‌කෘතියෙහි විශිෂ්ට ඵලයකි. එකල යක්‍ෂ ගෝත්‍රිකයන්ට මෙරට විශාල බලයක් තිබිණි. ඒ කෙතරම් ද යත් යක්‍ෂ මවක ගේ පුතකු වූ කාශ්‍යප රජුට තම පියා, එනම් සිංහල රජු, ඝාතනය කර රජ වීමට තරම් ශක්‌තියක් තිබිණි. සිංහල රාජ්‍යයේ උරුමය තිබූ මුගලන් කුමරුට භාරතයට පැන යැමට සිදු විය. මහානාම හිමියන් බොහෝ කරුණු අධ්‍යයනය කර ධාතුසේන කුමරු රජකමට පුරුදු කළ ද ඒ රජු දෙමළ ආක්‍රමණිකයන් පරදවා ජයග්‍රහණය කළ ද යක්‍ෂ ගෝත්‍රිකයන් පරාජය කිරීමට එතුමාට නොහැකි විය. ඒ වෙනුවට මවු පාර්ශ්වයෙන් යක්‍ෂ ගෝත්‍රිකයකු වූ කාශ්‍යප කුමරු ධාතුසේන රජු මරා රජකමට පත් විය. ඒ පියා මැරීමක් ලෙස මහාවංශය කියයි. එහෙත් එය පිය රජු මරා දැමීමකට වඩා යක්‍ෂයන් ගේ සහාය දිනාගත් කාශ්‍යප රජු සිංහල රාජ්‍යයෙහි (අනුරාධපුරය අගනුවර කරගත්) ආධිපත්‍යය ලබා ගැනීමක් ලෙස දැකිය හැකි ය.
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
මහානාම හිමියන්ගෙන් සිංහල අවුරුද්දට පාඩමක්
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
පස්‌වැනි හයවැනි සියවස් මෙරට ඉතිහාසයේ තීරණාත්මක ම අවධිය බවට සැකයක් තිබිය නොහැකි ය. මහාවංශ කර්තෘ මහානාම හිමියන්ට ස්‌වල්ප කාලයකට පෙර මහා විහාරික භික්‍ෂුන් වහන්සේ ථෙරවාදී ධර්මය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගත් හ. සිංහලෙන් තිබූ ධර්ම ග්‍රන්ථ මාගධී ප්‍රකෘතයට හෙවත් පසුව පාළි යන නමින් හඳුන්වනු ලැබූ බසට පෙරළනු ලැබූයේ එයින් එක් පියවරක් ලෙස ය. බුද්ධඝෝෂ හිමියන් ගෙන් පසුව අටුවාව ධර්මයෙහි උරගල මෙන් විය. නව අර්ථකථන ධර්මයට එකතු වීම වැළැක්‌විණි.
එසේ වුවත් ප්‍රජාවන්හි හා එදිනෙදා කටයුතුවල දී මහායානික හා වෙනත් අදහස් සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය වීම වැළැක්‌විය නොහැකි විය. ඇතැම් විට මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ එයට විරුද්ධ නො වන්නට ද ඇත. මෙරට තිබූ සංස්‌කෘතිය අනුව ඒ ඒ පෙදෙස්‌වල රාජ්‍යත්වයෙහි හැරෙන්නට වෙනත් කරුණුවල දී ජනතාවට නිදහසක් තිබිණි. පරිපාලනයෙහි තීරණ ගැනීමේ දී අනුරාධපුරයෙන් විමසා බැලීමේ පුරුද්දක් මෙරට නො වී ය. රටට ම සිරිත් ලේනා කෙනකු සිටිය ද සිරිත් විරිත් අනුගමනය කිරීම ඒ ඒ ප්‍රදේශවල කටයුත්තක් විය.
මේ සිංහල අවුරුදු සමයෙහි අපි මුළු රටේ ම අද එක නැකතකට ලිපි ගිනි දල්වමු. කිරිබත් අනුභව කරමු. එහෙත් දැනට අවුරුදු විසි පහකට පමණ පෙර තත්ත්වය එසේ නො වී ය. අවුරුදු නැකත් කිහිපයක් ම විය. නොනගතය උදා වීම ආදිය එක ම වෙලාවට සිදු වූව ද ලිප ගිනි දැල්වීම, කිරිබත් අනුභවය ආදිය එක ම නැකතට සිදු නො විණි. එක ම ගමේ විවිධ පවුල් විවිධ නැකැත් අනුව කටයුතු කළ හ. මේ තත්ත්වය දැනට අවුරුදු විසි පහකට පමණ පෙර නැති විය. ආණ්‌ඩුව මැදිහත් වී මුළු රටට ම බලපාන එක ම නැකැත් මාලාවක් සම්පාදනය කෙරිණි. ඒ සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට අවුරුදු නැකැත් සම්පාදනය මධ්‍යගත කෙරිණි.
එහි යහපත් පැත්තක් මෙන් ම අයහපත් පැත්තක් ද වෙයි. මුළු රට ම එක ම නැකතට කිරිබත් අනුභවය වැඩදායක විය හැකි ය. එහෙත් ඒ සමඟ ඒ ඒ ප්‍රදේශවලට තිබූ යම් ස්‌වාධීනත්වයක් නැති විය. එදා පන්සලේ ඝණ්‌ඨාර නාදයට ඒ ඒ නැකතට අනුව ලිප ගිනි මෙළවූ ගෘහණියෝ අද මුළු රටේ ම රූපවාහිනියේ වේලාව අනුව එක ම නැකතකට ලිප ගිනි මොළවති. මේ බිරිතානී ඒකීය ක්‍රමයට කරන කටයුත්තක් මිස එක සේසත් ක්‍රමයට කෙරෙන කාර්යයක් නො වේ.
අනෙක් අතට එක ම නැකතින් වැඩ කිරීම නිසා යාපනයේ ජනතාවට ද අද සිංහල අවුරුදු සිරිත් අනුගමනය කිරීමට හැකියාව ලැබී ඇත. එය මුස්‌ලිම් ජනයා අතරට ද පැතිරවීමේ හැකියාව සොයා බැලිය යුතු ය. ඉස්‌ලාම් හා ක්‍රිස්‌තු භක්‌තිකයෝ නැකැත් අනුගමනය නො කරති. එහෙත් ඔවුනට ද එකට වැඩ කිරීමට හැකි බව පෙන්වා දිය යුතු ය. කාර්යාල කටයුතු එක ම වෙලාවට ආරම්භ කරන්නාක් මෙන් එසේත් නැත්නම් විභාග කටයුතු එක ම වෙලාවට පටන් ගැනෙන්නාක් මෙන් අවුරුද්දට ලිප ගිනි මෙළවීම, ආහාර අනුභවය ආදිය එක ම වෙලාවට කිරීමට සියල්ලන් උනන්දු කළ හැකි ය.
අද අපට තීරණය කිරීමට සිදු වී ඇත්තේ අනාගත ලංකාව කෙබඳු ආකාරයක් ගන්නේ ද යන්න ය. එහි දී ඇතැම් කරුණුවල දී වඩාත් වැදගත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් යම් ස්‌වාධීනත්වයකට වඩා රට වශයෙන් පොදු එකඟත්වයකට පැමිණීම ය. සිංහල අවුරුද්ද මුළු ලංකාවේ ම ජාතික අවුරුද්ද බවට පත් කර ගැනීම රට වශයෙන් ගත් කල ජාතික අනන්‍යතාවක් ඇති කර ගැනීමට උපකාරී වනු ඇත. ජනවාරි පළමු වැනි දා බටහිර ක්‍රිස්‌තියානීන් ගේ අවුරුද්ද උදාවන දවස මිස සිංහල ක්‍රිස්‌තියානීන් ද ඇතුළුව මෙරට කිසි ම ජනකායක ගේ අවුරුද්දක් නො වේ. හැරත් එදින විශේෂිත දවසක් ද නො වේ. ඒ හුදෙක් අභිමතයෙන් නියම කරගන්නා ලද්දකි.
එහෙත් සිංහල අවුරුද්ද ස්‌වාභාවික ව සූර්යයා ගේ චලිතය සමඟ සම්බන්ධ වෙයි. මේ පිළිබඳ විස්‌තර සිංහල අවුරුද්ද නම් කෘතියෙහි සඳහන් වෙයි. අද අප කළ යුත්තේ සිංහල අවුරුද්ද සිංහලයන්ට නැති නො කරගනිමින් එය රටේ ම ජාතික අවුරුද්ද බවට පත් කර ගැනීම ය. එය තරමක් අපහසු කටයුත්තක් වනු ඇත. සිංහල හා දෙමළ අවුරුද්ද, සිංහල හා හින්දු අවුරුද්ද වැනි ව්‍යාජ නම් පට නො බැඳ අවශ්‍ය නම් සිංහල අවුරුද්ද ජාතික අවුරුද්ද ලෙස හැඳින්විය හැකි ය. ප්‍රාදේශීය අනන්‍යතා හැකිතාක් පවත්වාගෙන යන අතර ජාතික අනන්‍යතාවක් ද ඇති කර ගැනීම අපේ මූලික ජාතික ප්‍රතිපත්තිය විය යුතු ය. එහි දී ප්‍රාදේශීය අනන්‍යතා ජාතික අනන්‍යතාවට ප්‍රතිවිරුද්ධ නො වන ආකාරයකට පවත්වාගෙන යැමට අප වග බලාගත යුතු ය. ඉතා පැහැදිලිව ම අද අපට ජාතික අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සිදු වී ඇත. එය සංස්‌කෘතියෙහි ද වෙනත් අංශවල ද සිදු විය යුතු ය. අප ඉතිහාසය හැදෑරීමේ එක් අරමුණක් වනුයේ ජාතික අනන්‍යතාව ඇති කර ගැනීම එකල කෙසේ සිදු විණි දැයි දැන ගැනීම ය.
එහෙත් එදා සිදු වූ සියල්ල ඒ ආකාරයෙන් ම අද ද සිදු වනු ඇතැයි අපේක්‍ෂා නො කළ යුතු ය. එදා කළ යුතු ව තිබුණේ යක්‍ෂ ගෝත්‍රිකයන් සිංහල ජාතිය සමඟ බද්ධ කිරීම ය. පඬු අබා රජු දවස ඇරඹුණු මේ කාර්යය පස්‌වැනි සියවස වන තෙක් ද නිම කර ගැනීමට නොහැකි ව තිබිණි. එය එක් අතකින් ගත් කල සිංහල ජාතියට තර්ජනයක් විය. සිංහල බෞද්ධ සංස්‌කෘතිය විසින් මේ වන විට යක්‍ෂ සංස්‌කෘතියෙහි බොහෝ අංග එකතු කරගනු ලැබ තිබිණි. අපි කලින් ලිපියක බෙර ගැන සඳහන් කළෙමු. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බෙර සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කෙරී තිබිණි. බෙර පන්සලට ඇතුළු විණි යෑයි සඳහන් වූයේ ඒ අරුතිනි. එහෙත් වචනාර්ථයෙන් ගත් කල පන්සලට ඇතුළු කරගෙන තිබුණේ දවුල ය. අනෙක් බෙර සිංහල බෞද්ධ සංස්‌කෘතියට ඇතුළු වූ නමුත් පන්සලට සෘජුව ම ඇතුළු කරගනු ලැබුයේ දවුල ය.
පස්‌වැනි සියවස වන විට සිංහල බෞද්ධ සංස්‌කෘතියට හා සිංහල ජාතියට තර්ජන තුනක් තිබී ඇති බව පැහැදිලි ය. එක් තර්ජනයක් යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ය. එක්‌කෝ සිංහල බෞද්ධ සංස්‌කෘතියට යක්‍ෂ ගෝත්‍රිකයන් ද ඇතුළු කරගත යුතු ව තිබිණි. එසේත් නොමැති නම් යක්‍ෂ සංස්‌කෘතිය විසින් සිංහල සංස්‌කෘතිය ගිල ගනු ලැබිය යුතු ව තිබිණි. ඒ අතර ජාත්‍යන්තර තර්ජන දෙකක් ද විය. ඒ ථෙරවාද බෞද්ධ සංස්‌කෘතිය මහායාන සංස්‌කෘතිය විසින් විස්‌ථාපනය කරනු ලැබීම හා දක්‍ෂිණ භාරතයෙන් එල්ල වූ ද්‍රවිඩ ආක්‍රමණ ය. මහානාම හිමියන් වැනි බුද්ධිමත් භික්‍ෂුන් වහන්සේලා ද ප්‍රබුද්ධ ගිහියන් ද මේ තත්ත්වය ගැන අවදියෙන් සිටින්නට ඇත. මහානාම හිමියන් ගැමුණු කුමරුට අත් පා දිග හැරීමට නොහැකි වීම ගැන මහාවංශයෙහි සටහන් කරන අතර උන්වහන්සේ ගේ කාලයෙහි ඇති වූ තර්ජන ගැන ද සිතන්නට ඇත.
මහානාම හිමියන් ගැමුණු කුමරු දකින්නට ඇත්තේ උන්වහන්සේ ජීවත් වූ යුගයට සාපේක්‍ෂව ය. එහි වරදක් නැත. වාස්‌තවික ගැමුණු කුමරුවකු කිසි ම ඉතිහාසඥයකුට කිසි ම දිනෙක හමු නො වනු ඇත. අප දන්නා ගැමුණු කුමරු ප්‍රධාන වශයෙන් ම මහානාම හිමියන් ගේ නිර්මාණයක් යෑයි කිව හැකි ය. එකල සමාජයේ තිබූ යම් යම් කරුණු එකතු කර මහානාම හිමියන් ගැමුණු කුමරු නිර්මාණය කර ඇතැයි කීමේ වරදක් නැත. මහානාම හිමියන් ගේ ගැමුණු කුමරු මෙන් ම උන්වහන්සේ ලියූ ඉතිහාස කතාව ද උන්වහන්සේ ජීවත් වූ යුගයට සාපේක්‍ෂ ය. මේ ලිපිවල අප දක්‌නා මහානාම හිමියන් අප ජීවත් වන යුගයට සාපේක්‍ෂ ය. මෙහි දැක්‌වෙන මහානාම හිමියන් මුණ ගැසෙන්නේ අපට ය. ඉතිහාසයෙහි මෙතෙක් කල් මෙවැනි මහානාම හිමිනමක හමු වී නැත. ඒ පිළිබඳව අපට දොස් පැවරීමෙන් ඵලක් නැත. පෘථග්ජනයන් ලෙස අපට දැනුම පිළිබඳ මේ සාපේක්‍ෂතාවෙන් ගැලවීමක් නැත. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි මේ කරුණ විස්‌තර කෙරෙයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙන් ගැලවීමට නම් නිවන් අවබෝධ කළ යුතු ය.
මහාවිහාරවාසී භික්‌ෂූන් වහන්සේ ථෙරවාදය ආරක්‍ෂා කිරීමට කෙතරම් පියවර ගත්ත ද වෙනත් අදහස් පස් වැනි හය වැනි සියවස්‌වල මෙරට තිබී ඇත. එමෙන් ම වෙනත් ගුරුකුලවල භික්‍ෂුන් වහන්සේ යම් ප්‍රමාණයකට බලවත් ව සිටි බව ද පැහැදිලි වෙයි. ධාතුසේන රජතුමා අම්බස්‌ථලයෙහි විහාරයක් කරවා එය මහාවිහාරික භික්‍ෂුන් වහන්සේට පූජා කිරීමට සූදානම් වූ අවස්‌ථාවෙහි ධර්මරුචික භික්‍ෂූන් වහන්සේ තමන්ට ඒ විහාරය පූජා කරන ලෙස ඉල්ලූ බවත් රජතුමා අවසානයේ දී එසේ කළ බවත් සඳහන් වෙයි. මහා විහාරයට පක්‍ෂ වූ ධාතුසේන රජතුමාට තමන්ට රිසි ලෙස කටයුතු කිරිමට නොහැකි වූ බව මෙයින් හෙළි වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් මහසෙන් රජු කාලයේ සිට පැවැත ආ ධර්මරුචික භික්‍ෂුන් වහන්සේට පක්‍ෂපාතී වී යෑයි සිතා ගැනීම අපහසු නො වේ.
කෙසේ වෙතත් මහානාම හිමියන් හා වෙනත් භික්‍ෂූන් වහන්සේට මුහුණ පෑමට සිදු වූ කරුණු අතර වර්ධනය වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බලය බිඳීම, පැතුරුණු මහායාන අදහස්‌වලින් ථෙරවාදය ආරක්‍ෂා කිරීම හා දක්‍ෂිණ භාරතීය ආක්‍රමණවලින් රට මුදාගැනීම ප්‍රධාන වන්නට ඇතැයි සිතිය හැකි ය. මහානාම හිමියන් ධාතුසේන කුමරු කුඩා කල සිට ම රජකමට පුරුදු කළ බව පැවසෙයි. උන්වහන්සේ එකුමරු මේ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ඇත. මහානාම හිමියන් හා අනෙක් ප්‍රධාන ප්‍රබුද්ධ භික්‍ෂුන් වහන්සේ මහායාන අදහස් පැතිර යැමට විරුද්ධව යමක් කරනවා වෙනුවට ඒ සඳහා යම් අනුග්‍රහයක් ලබා දී ඇති බව පෙනී යයි. අවුකන බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම ඒ අනුග්‍රාහක ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව පැහැදිලි ය.
එසේ අනුග්‍රාහක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ථෙරවාද ධර්මයට කිසිදු ප්‍රශ්නයක් ඇති නො වන බව මහානාම හිමියන් ඇතුළු මහාවිහාරික භික්‍ෂුන් වහන්සේට පෙනී යන්නට ඇත. එයට හේතුව ධර්මය ඒ වන විට පාළි භාෂාවෙන් ලියා තිබීම ය. අනෙක් පැත්තෙන් සමස්‌තයක් ලෙස ගත් කල ථෙරවාදයට විරුද්ධ වූ යක්‍ෂ ගෝත්‍රිකයන්ට මේ අනුග්‍රාහක ප්‍රතිපත්තිය ප්‍රශ්නයක් වන්නට ඇත. ඔවුන්ට ඒ ප්‍රතිපත්තියට පක්‍ෂ වීම හෝ විපක්‍ෂ වීම හෝ ගැටලුවක් වන්නට ඇත. ඒ අතර මහාවිහාරික නො වන භික්‍ෂුන් වහන්සේ ද ඒ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අවුලකට පත් වන්නට ඇතැයි සිතිය හැකි ය.
ධාතුසේන රජතුමා අම්බස්‌ථල විහාරය අවසානයේ දී ධර්මරුචික භික්‍ෂුන් වහන්සේට පුජා කළේ ද එක් පැත්තකින් බලවත් වූ උන්වහන්සේ අමනාප කර නො ගැනීමටත් අනෙක් පැත්තෙන් විහාරය මහාවිහාරික භික්‍ෂුන් වහන්සේට පූජා කිරීම ධර්මරුචික භික්‍ෂුන් වහන්සේට විරුද්ධත්වය පෑම සඳහා හේතුවක් කර ගැනීමට ඉඩ නො තැබීමටත් යෑයි පෙනී යයි. එසේ යක්‍ෂ ගෝත්‍රිකයන් හා මහාවිහාරික නො වන භික්‍ෂුන් වහන්සේ සංස්‌කෘතික (ආගමික) කටයුතු සම්බන්ධයෙන් විරුද්ධ කර නො ගන්නා අතර කලාවැව නිර්මාණය වැනි ආර්ථික කටයුතුවලට සම්බන්ධ කරුණුවල දී යක්‍ෂ ගෝත්‍රිකයන්ට විරුද්ධ වන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කළ යුතු වෙයි.
~ මහාචාර්ය නලින් ද සිල්වා ~