මහානාම හිමියන්ගෙන් සිංහල අවුරුද්දට පාඩමක්
~ මහාචාර්ය නලින් ද සිල්වා ~
පස්‌වැනි හයවැනි සියවස් මෙරට ඉතිහාසයේ තීරණාත්මක ම අවධිය බවට සැකයක් තිබිය නොහැකි ය. මහාවංශ කර්තෘ මහානාම හිමියන්ට ස්‌වල්ප කාලයකට පෙර මහා විහාරික භික්‍ෂුන් වහන්සේ ථෙරවාදී ධර්මය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගත් හ. සිංහලෙන් තිබූ ධර්ම ග්‍රන්ථ මාගධී ප්‍රකෘතයට හෙවත් පසුව පාළි යන නමින් හඳුන්වනු ලැබූ බසට පෙරළනු ලැබූයේ එයින් එක් පියවරක් ලෙස ය. බුද්ධඝෝෂ හිමියන් ගෙන් පසුව අටුවාව ධර්මයෙහි උරගල මෙන් විය. නව අර්ථකථන ධර්මයට එකතු වීම වැළැක්‌විණි.
එසේ වුවත් ප්‍රජාවන්හි හා එදිනෙදා කටයුතුවල දී මහායානික හා වෙනත් අදහස් සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය වීම වැළැක්‌විය නොහැකි විය. ඇතැම් විට මහාවිහාරික භික්‍ෂූන් වහන්සේ එයට විරුද්ධ නො වන්නට ද ඇත. මෙරට තිබූ සංස්‌කෘතිය අනුව ඒ ඒ පෙදෙස්‌වල රාජ්‍යත්වයෙහි හැරෙන්නට වෙනත් කරුණුවල දී ජනතාවට නිදහසක් තිබිණි. පරිපාලනයෙහි තීරණ ගැනීමේ දී අනුරාධපුරයෙන් විමසා බැලීමේ පුරුද්දක් මෙරට නො වී ය. රටට ම සිරිත් ලේනා කෙනකු සිටිය ද සිරිත් විරිත් අනුගමනය කිරීම ඒ ඒ ප්‍රදේශවල කටයුත්තක් විය.
මේ සිංහල අවුරුදු සමයෙහි අපි මුළු රටේ ම අද එක නැකතකට ලිපි ගිනි දල්වමු. කිරිබත් අනුභව කරමු. එහෙත් දැනට අවුරුදු විසි පහකට පමණ පෙර තත්ත්වය එසේ නො වී ය. අවුරුදු නැකත් කිහිපයක් ම විය. නොනගතය උදා වීම ආදිය එක ම වෙලාවට සිදු වූව ද ලිප ගිනි දැල්වීම, කිරිබත් අනුභවය ආදිය එක ම නැකතට සිදු නො විණි. එක ම ගමේ විවිධ පවුල් විවිධ නැකැත් අනුව කටයුතු කළ හ. මේ තත්ත්වය දැනට අවුරුදු විසි පහකට පමණ පෙර නැති විය. ආණ්‌ඩුව මැදිහත් වී මුළු රටට ම බලපාන එක ම නැකැත් මාලාවක් සම්පාදනය කෙරිණි. ඒ සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට අවුරුදු නැකැත් සම්පාදනය මධ්‍යගත කෙරිණි.
එහි යහපත් පැත්තක් මෙන් ම අයහපත් පැත්තක් ද වෙයි. මුළු රට ම එක ම නැකතට කිරිබත් අනුභවය වැඩදායක විය හැකි ය. එහෙත් ඒ සමඟ ඒ ඒ ප්‍රදේශවලට තිබූ යම් ස්‌වාධීනත්වයක් නැති විය. එදා පන්සලේ ඝණ්‌ඨාර නාදයට ඒ ඒ නැකතට අනුව ලිප ගිනි මෙළවූ ගෘහණියෝ අද මුළු රටේ ම රූපවාහිනියේ වේලාව අනුව එක ම නැකතකට ලිප ගිනි මොළවති. මේ බිරිතානී ඒකීය ක්‍රමයට කරන කටයුත්තක් මිස එක සේසත් ක්‍රමයට කෙරෙන කාර්යයක් නො වේ.
අනෙක් අතට එක ම නැකතින් වැඩ කිරීම නිසා යාපනයේ ජනතාවට ද අද සිංහල අවුරුදු සිරිත් අනුගමනය කිරීමට හැකියාව ලැබී ඇත. එය මුස්‌ලිම් ජනයා අතරට ද පැතිරවීමේ හැකියාව සොයා බැලිය යුතු ය. ඉස්‌ලාම් හා ක්‍රිස්‌තු භක්‌තිකයෝ නැකැත් අනුගමනය නො කරති. එහෙත් ඔවුනට ද එකට වැඩ කිරීමට හැකි බව පෙන්වා දිය යුතු ය. කාර්යාල කටයුතු එක ම වෙලාවට ආරම්භ කරන්නාක් මෙන් එසේත් නැත්නම් විභාග කටයුතු එක ම වෙලාවට පටන් ගැනෙන්නාක් මෙන් අවුරුද්දට ලිප ගිනි මෙළවීම, ආහාර අනුභවය ආදිය එක ම වෙලාවට කිරීමට සියල්ලන් උනන්දු කළ හැකි ය.
අද අපට තීරණය කිරීමට සිදු වී ඇත්තේ අනාගත ලංකාව කෙබඳු ආකාරයක් ගන්නේ ද යන්න ය. එහි දී ඇතැම් කරුණුවල දී වඩාත් වැදගත් වන්නේ ප්‍රාදේශීය වශයෙන් යම් ස්‌වාධීනත්වයකට වඩා රට වශයෙන් පොදු එකඟත්වයකට පැමිණීම ය. සිංහල අවුරුද්ද මුළු ලංකාවේ ම ජාතික අවුරුද්ද බවට පත් කර ගැනීම රට වශයෙන් ගත් කල ජාතික අනන්‍යතාවක් ඇති කර ගැනීමට උපකාරී වනු ඇත. ජනවාරි පළමු වැනි දා බටහිර ක්‍රිස්‌තියානීන් ගේ අවුරුද්ද උදාවන දවස මිස සිංහල ක්‍රිස්‌තියානීන් ද ඇතුළුව මෙරට කිසි ම ජනකායක ගේ අවුරුද්දක් නො වේ. හැරත් එදින විශේෂිත දවසක් ද නො වේ. ඒ හුදෙක් අභිමතයෙන් නියම කරගන්නා ලද්දකි.
එහෙත් සිංහල අවුරුද්ද ස්‌වාභාවික ව සූර්යයා ගේ චලිතය සමඟ සම්බන්ධ වෙයි. මේ පිළිබඳ විස්‌තර සිංහල අවුරුද්ද නම් කෘතියෙහි සඳහන් වෙයි. අද අප කළ යුත්තේ සිංහල අවුරුද්ද සිංහලයන්ට නැති නො කරගනිමින් එය රටේ ම ජාතික අවුරුද්ද බවට පත් කර ගැනීම ය. එය තරමක් අපහසු කටයුත්තක් වනු ඇත. සිංහල හා දෙමළ අවුරුද්ද, සිංහල හා හින්දු අවුරුද්ද වැනි ව්‍යාජ නම් පට නො බැඳ අවශ්‍ය නම් සිංහල අවුරුද්ද ජාතික අවුරුද්ද ලෙස හැඳින්විය හැකි ය. ප්‍රාදේශීය අනන්‍යතා හැකිතාක් පවත්වාගෙන යන අතර ජාතික අනන්‍යතාවක් ද ඇති කර ගැනීම අපේ මූලික ජාතික ප්‍රතිපත්තිය විය යුතු ය. එහි දී ප්‍රාදේශීය අනන්‍යතා ජාතික අනන්‍යතාවට ප්‍රතිවිරුද්ධ නො වන ආකාරයකට පවත්වාගෙන යැමට අප වග බලාගත යුතු ය. ඉතා පැහැදිලිව ම අද අපට ජාතික අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සිදු වී ඇත. එය සංස්‌කෘතියෙහි ද වෙනත් අංශවල ද සිදු විය යුතු ය. අප ඉතිහාසය හැදෑරීමේ එක් අරමුණක් වනුයේ ජාතික අනන්‍යතාව ඇති කර ගැනීම එකල කෙසේ සිදු විණි දැයි දැන ගැනීම ය.
එහෙත් එදා සිදු වූ සියල්ල ඒ ආකාරයෙන් ම අද ද සිදු වනු ඇතැයි අපේක්‍ෂා නො කළ යුතු ය. එදා කළ යුතු ව තිබුණේ යක්‍ෂ ගෝත්‍රිකයන් සිංහල ජාතිය සමඟ බද්ධ කිරීම ය. පඬු අබා රජු දවස ඇරඹුණු මේ කාර්යය පස්‌වැනි සියවස වන තෙක් ද නිම කර ගැනීමට නොහැකි ව තිබිණි. එය එක් අතකින් ගත් කල සිංහල ජාතියට තර්ජනයක් විය. සිංහල බෞද්ධ සංස්‌කෘතිය විසින් මේ වන විට යක්‍ෂ සංස්‌කෘතියෙහි බොහෝ අංග එකතු කරගනු ලැබ තිබිණි. අපි කලින් ලිපියක බෙර ගැන සඳහන් කළෙමු. යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බෙර සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කෙරී තිබිණි. බෙර පන්සලට ඇතුළු විණි යෑයි සඳහන් වූයේ ඒ අරුතිනි. එහෙත් වචනාර්ථයෙන් ගත් කල පන්සලට ඇතුළු කරගෙන තිබුණේ දවුල ය. අනෙක් බෙර සිංහල බෞද්ධ සංස්‌කෘතියට ඇතුළු වූ නමුත් පන්සලට සෘජුව ම ඇතුළු කරගනු ලැබුයේ දවුල ය.
පස්‌වැනි සියවස වන විට සිංහල බෞද්ධ සංස්‌කෘතියට හා සිංහල ජාතියට තර්ජන තුනක් තිබී ඇති බව පැහැදිලි ය. එක් තර්ජනයක් යක්‍ෂ ගෝත්‍රිකයන් ගෙන් ය. එක්‌කෝ සිංහල බෞද්ධ සංස්‌කෘතියට යක්‍ෂ ගෝත්‍රිකයන් ද ඇතුළු කරගත යුතු ව තිබිණි. එසේත් නොමැති නම් යක්‍ෂ සංස්‌කෘතිය විසින් සිංහල සංස්‌කෘතිය ගිල ගනු ලැබිය යුතු ව තිබිණි. ඒ අතර ජාත්‍යන්තර තර්ජන දෙකක් ද විය. ඒ ථෙරවාද බෞද්ධ සංස්‌කෘතිය මහායාන සංස්‌කෘතිය විසින් විස්‌ථාපනය කරනු ලැබීම හා දක්‍ෂිණ භාරතයෙන් එල්ල වූ ද්‍රවිඩ ආක්‍රමණ ය. මහානාම හිමියන් වැනි බුද්ධිමත් භික්‍ෂුන් වහන්සේලා ද ප්‍රබුද්ධ ගිහියන් ද මේ තත්ත්වය ගැන අවදියෙන් සිටින්නට ඇත. මහානාම හිමියන් ගැමුණු කුමරුට අත් පා දිග හැරීමට නොහැකි වීම ගැන මහාවංශයෙහි සටහන් කරන අතර උන්වහන්සේ ගේ කාලයෙහි ඇති වූ තර්ජන ගැන ද සිතන්නට ඇත.
මහානාම හිමියන් ගැමුණු කුමරු දකින්නට ඇත්තේ උන්වහන්සේ ජීවත් වූ යුගයට සාපේක්‍ෂව ය. එහි වරදක් නැත. වාස්‌තවික ගැමුණු කුමරුවකු කිසි ම ඉතිහාසඥයකුට කිසි ම දිනෙක හමු නො වනු ඇත. අප දන්නා ගැමුණු කුමරු ප්‍රධාන වශයෙන් ම මහානාම හිමියන් ගේ නිර්මාණයක් යෑයි කිව හැකි ය. එකල සමාජයේ තිබූ යම් යම් කරුණු එකතු කර මහානාම හිමියන් ගැමුණු කුමරු නිර්මාණය කර ඇතැයි කීමේ වරදක් නැත. මහානාම හිමියන් ගේ ගැමුණු කුමරු මෙන් ම උන්වහන්සේ ලියූ ඉතිහාස කතාව ද උන්වහන්සේ ජීවත් වූ යුගයට සාපේක්‍ෂ ය. මේ ලිපිවල අප දක්‌නා මහානාම හිමියන් අප ජීවත් වන යුගයට සාපේක්‍ෂ ය. මෙහි දැක්‌වෙන මහානාම හිමියන් මුණ ගැසෙන්නේ අපට ය. ඉතිහාසයෙහි මෙතෙක් කල් මෙවැනි මහානාම හිමිනමක හමු වී නැත. ඒ පිළිබඳව අපට දොස් පැවරීමෙන් ඵලක් නැත. පෘථග්ජනයන් ලෙස අපට දැනුම පිළිබඳ මේ සාපේක්‍ෂතාවෙන් ගැලවීමක් නැත. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි මේ කරුණ විස්‌තර කෙරෙයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙන් ගැලවීමට නම් නිවන් අවබෝධ කළ යුතු ය.
මහාවිහාරවාසී භික්‌ෂූන් වහන්සේ ථෙරවාදය ආරක්‍ෂා කිරීමට කෙතරම් පියවර ගත්ත ද වෙනත් අදහස් පස් වැනි හය වැනි සියවස්‌වල මෙරට තිබී ඇත. එමෙන් ම වෙනත් ගුරුකුලවල භික්‍ෂුන් වහන්සේ යම් ප්‍රමාණයකට බලවත් ව සිටි බව ද පැහැදිලි වෙයි. ධාතුසේන රජතුමා අම්බස්‌ථලයෙහි විහාරයක් කරවා එය මහාවිහාරික භික්‍ෂුන් වහන්සේට පූජා කිරීමට සූදානම් වූ අවස්‌ථාවෙහි ධර්මරුචික භික්‍ෂූන් වහන්සේ තමන්ට ඒ විහාරය පූජා කරන ලෙස ඉල්ලූ බවත් රජතුමා අවසානයේ දී එසේ කළ බවත් සඳහන් වෙයි. මහා විහාරයට පක්‍ෂ වූ ධාතුසේන රජතුමාට තමන්ට රිසි ලෙස කටයුතු කිරිමට නොහැකි වූ බව මෙයින් හෙළි වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් මහසෙන් රජු කාලයේ සිට පැවැත ආ ධර්මරුචික භික්‍ෂුන් වහන්සේට පක්‍ෂපාතී වී යෑයි සිතා ගැනීම අපහසු නො වේ.
කෙසේ වෙතත් මහානාම හිමියන් හා වෙනත් භික්‍ෂූන් වහන්සේට මුහුණ පෑමට සිදු වූ කරුණු අතර වර්ධනය වූ යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ බලය බිඳීම, පැතුරුණු මහායාන අදහස්‌වලින් ථෙරවාදය ආරක්‍ෂා කිරීම හා දක්‍ෂිණ භාරතීය ආක්‍රමණවලින් රට මුදාගැනීම ප්‍රධාන වන්නට ඇතැයි සිතිය හැකි ය. මහානාම හිමියන් ධාතුසේන කුමරු කුඩා කල සිට ම රජකමට පුරුදු කළ බව පැවසෙයි. උන්වහන්සේ එකුමරු මේ කරුණු සම්බන්ධයෙන් දැනුවත් කරන්නට ඇත. මහානාම හිමියන් හා අනෙක් ප්‍රධාන ප්‍රබුද්ධ භික්‍ෂුන් වහන්සේ මහායාන අදහස් පැතිර යැමට විරුද්ධව යමක් කරනවා වෙනුවට ඒ සඳහා යම් අනුග්‍රහයක් ලබා දී ඇති බව පෙනී යයි. අවුකන බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීම ඒ අනුග්‍රාහක ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බව පැහැදිලි ය.
එසේ අනුග්‍රාහක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ථෙරවාද ධර්මයට කිසිදු ප්‍රශ්නයක් ඇති නො වන බව මහානාම හිමියන් ඇතුළු මහාවිහාරික භික්‍ෂුන් වහන්සේට පෙනී යන්නට ඇත. එයට හේතුව ධර්මය ඒ වන විට පාළි භාෂාවෙන් ලියා තිබීම ය. අනෙක් පැත්තෙන් සමස්‌තයක් ලෙස ගත් කල ථෙරවාදයට විරුද්ධ වූ යක්‍ෂ ගෝත්‍රිකයන්ට මේ අනුග්‍රාහක ප්‍රතිපත්තිය ප්‍රශ්නයක් වන්නට ඇත. ඔවුන්ට ඒ ප්‍රතිපත්තියට පක්‍ෂ වීම හෝ විපක්‍ෂ වීම හෝ ගැටලුවක් වන්නට ඇත. ඒ අතර මහාවිහාරික නො වන භික්‍ෂුන් වහන්සේ ද ඒ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අවුලකට පත් වන්නට ඇතැයි සිතිය හැකි ය.
ධාතුසේන රජතුමා අම්බස්‌ථල විහාරය අවසානයේ දී ධර්මරුචික භික්‍ෂුන් වහන්සේට පුජා කළේ ද එක් පැත්තකින් බලවත් වූ උන්වහන්සේ අමනාප කර නො ගැනීමටත් අනෙක් පැත්තෙන් විහාරය මහාවිහාරික භික්‍ෂුන් වහන්සේට පූජා කිරීම ධර්මරුචික භික්‍ෂුන් වහන්සේට විරුද්ධත්වය පෑම සඳහා හේතුවක් කර ගැනීමට ඉඩ නො තැබීමටත් යෑයි පෙනී යයි. එසේ යක්‍ෂ ගෝත්‍රිකයන් හා මහාවිහාරික නො වන භික්‍ෂුන් වහන්සේ සංස්‌කෘතික (ආගමික) කටයුතු සම්බන්ධයෙන් විරුද්ධ කර නො ගන්නා අතර කලාවැව නිර්මාණය වැනි ආර්ථික කටයුතුවලට සම්බන්ධ කරුණුවල දී යක්‍ෂ ගෝත්‍රිකයන්ට විරුද්ධ වන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කළ යුතු වෙයි.
~ මහාචාර්ය නලින් ද සිල්වා ~